Gossips

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමෙන්, අවභාවිතය වැළැක්වීමටත් පියවර

රජයේ අවසරයකින් තොරව ත්‍රිපිටකය සංස්කරණයට, පරිවර්තනයට හෝ අනිසි කටයුතුවලට භාවිත කිරීමට කිසිවෙකුට මින් ඉදිරියට ඉඩක් නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් මාතලේ ඵෙතිහාසික අලූවිහාරයේදී අද පැවති උත්සවයට එක්වෙමින්.
මින් පසු ත්‍රිපිටකය පරිවර්තනයට හා සංස්කරණයට ඉඩ ලැබෙන්නේ ප්‍රාමාණික විද්වත් මණ්ඩලයකට පමණක් බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය 1500 කට අධික පිරිසක් මෙම අවස්ථාවට වැඩම කර සිටියා.
1956 වසරේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ ත්‍රිපිටකය පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කෙරුණු අතර, තුන්වන ධර්ම සංගායනාවේදී සූත්‍ර, විනය සහ අභිධර්ම වශයෙන් පූර්ණත්වයට පත් ථේරවාදී ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට උරුම වුණා.
මෙසේ උරුම වූ සම්බුදු දහම ශත වර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාව තුළ පෝෂණය වූයේ රාජ්‍ය ගෞරවය ලබමින්. මහරහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ශතවර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැකගෙන ආ ත්‍රිපිටකය ලෝකයේ පළමු වරට තල්පත්වල ලේඛණාරූඪ කිරීම ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවසේදී මාතලේ ඵෙතිහාසික අලූවිහාරයේදී සිදුවූ බව ඉතිහාසයේ සඳහන්.
මෙම ඵෙතිහාසික අවස්ථාව සිහිපත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදුවුණා.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ද අනුශාසනාවක් සිදුකළා.
අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළා සේම, එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීමද තමා ඉදිරියේදී සිදුකරන බවයි.