Gossips

ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි – ලෝක උරුමයක් කරන ලෙස ඉල්ලන බව ජනපති කියයි (ඡායාරූප)

ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස අද (05) ප්‍රකාශයට පත් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
මාතලේ – අලුවිහාරයේදි මහනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ 2000කගේ සහභාගීත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ත්‍රිපිටකය මෙලෙස ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කරන බවයි.
1956 වසරේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ ත්‍රිපිටකය පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කෙරුණු අතර, තුන්වන ධර්ම සංගායනාවේදී සූත්‍ර, විනය සහ අභිධර්ම වශයෙන් පූර්ණත්වයට පත් ථේරවාදී ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට උරුම වුණා.
මෙසේ උරුම වූ සම්බුදු දහම ශත වර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාව තුළ පෝෂණය වූයේ රාජ්‍ය ගෞරවය ලබමින්.
මහ රහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශත වර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ලෝකයේ පළමු වරට තල්පත්වල ලේඛනාරූඪ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසේදී මාතලේ අළු විහාරයේදියි.
අද ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ ත්‍රිපිටකය, ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන විසින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත පිරිනමනු ලැබුවා.
එහිදී පළමුවෙන්ම අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන්ට ද දෙවනුව මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන්ටද ත්‍රිපිටකය පිරිනැමීම සිදු කෙරුණා.
ඉන් අනතුරුව අද සිදුවූ මෙම සුවිශේෂී අවස්ථාවට එක්වෙමින් මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් අනුශාසනාවක් සිදුකළා.