Gossips

ත්‍රිකුණාමලයේ තෙල් කුමාරට වෙඩි

ත්‍රිකුණාමලය – සිරිමා පුර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා සෙලින් කුමාර නොහොත් තෙල් කුමාර නමැති ව්‍යාපාරිකයා බව අනාවරණ වී තිබෙනවා.
අද (11) උදෑසන 6 ට පමණ සිරිමාපුර ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ නවතා තිබූ ලොරි රථයක් තුළ මොහු රැදී සිටියදී මෝටර් රථයකින් පැමිණි තුන්දෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මියගිය පුද්ගලයා 45 හැවිරිදි සිරිමාපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර වෘත්තීයෙන් මත්ස්‍ය ව්‍යාපාරිකයෙක්.
එමෙන්ම, යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ඉන්ධන ගණුදෙනු සිදුකළ බවට ද මීට පෙර මොහුට චෝදනා එල්ල වී තිබුණා.
එසේම, තෙල් කුමාර අපරාධ කල්ලි සමග සබදතා පැවැත්වූ බවට ද තොරතුරු පවතින බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.
එසේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හදුන්වන අයිස් මංජු නමැත්තා මොහු සමග ව්‍යාපාර කටයුතුවල නිරත වී ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා.
දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව තවත් අපරාධ කල්ලියක සාමාජිකයින් පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට අනුමාන කෙරෙන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළේ.