Gossips

ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය, ඉන්දීය සෙබළුන්ගේ සිරුරු දිල්ලියට

දකුණු කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 දෙනෙකුගේ සිරුරු දිල්ලියේ පාලම් ගුවන් තොටුපළ වෙත ඊයේ සන්ධ්‍යාවේ රැගෙන එනු ලැබුවා.
ඉන්දීය ජාතික ධජවලින් ආවරණ කර තිබූ එම සිරුරුවලට බුහුමන් දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අමාත්‍යවරුන් වන රාජ්නාත් සිං, නිර්මලා සීතාරාමන්, කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සහ දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් ද පැමිණ සිටියා.
ඊට අමතරව ඉන්දීය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද ගුවන් තොටුපළට පැමිණ සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
පාකිස්තානය කේන්ද්‍ර කොට ගත් ජයිෂ් – ඉ – මොහොමඩ් නැමති ත්‍රස්ත කල්ලිය එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මිය ගිය ඉන්දීය සෙබළුන්ගේ සිරුරු දිල්ලි ගුවන් තොටුපළට රැගෙන එනු ලැබුයේ සී – 130 වර්ගයේ හර්කියුලිස් ගුවන් යානයකින්.
එම සිරුරු එතැන් සිට ඔවුන්ගේ උපන් ගම්වලට ආසන්න ගුවන් තොටුපළ වෙත රැගෙන යාමට නියමිතයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය වග කිව යුතු බවට චෝදනා කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ඒ සඳහා වන්දි ගෙවීමට සැරසී සිටිය යුතු බවයි.
කෙසේ නමුත්, දැනට පවතින අධික හිම සහිත කාලගුණය නිසා ඉන්දියාවෙන් පාකිස්තානය වෙත හදිසි ප්‍රහාරයක් අපේක්ෂා කළ නොහැකි බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ මතයයි.
ඉන්දියාවෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන පාකිස්තාන තොරතුරු අමාත්‍ය ෆවාඩ් චෞද්‍රි කියා සිටියේ තම රට ඊට සම්බන්ධ නම් ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි.
මේ අතර, කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ චාරිකාව ඉරිදා දක්වා කල් දමා තිබෙනවා.