Gossips

තවම තීරණයක් නැහැ – නිදහස් පක්ෂ මහ ලේකම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව අද (21) පස්වරුවේ කතානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 50 දෙනෙකු සහ රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද ඊට අත්සන් තබා ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කළේ.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (20) පැවැත්වුණා.
ඉන් අනතුරුව පිටතට පැමිණි නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරගෙන් ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටියා.
මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන නොමැති බවයි එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන නඩු කටයුත්තක් සඳහා අද (21) අධිකරණයට පැමිණි අවස්ථාවේදී කියා සිටියේ නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද ඊට අත්සන් තබා ඇති බවයි.