Gossips

තවදුරටත් ගිගුරුම් සහිත වැසි – උතුරේ හානි වූ නිවසකට ලක්ෂ 25ක්

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර, තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, රාජාංගනය, දැදුරු ඔය සහ ඉරණමඩු ජලාශවල වාන්දොරටු තවදුරටත් විවෘත කර ඇති බැවින් ඒ ආශ්‍රිතව පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර, පැවති අධික වැසිත් සමඟ උතුරු පළාතේ අවතැන්වූවන්ගේ සහන කටයුතු සොයා බැලීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
දැනට මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල පවුල් 22,823 කට අයත් පුද්ගලයින් 73,343 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
අධික වර්ෂාපතනය සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි වූ නිවසකට රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් ගෙවීමට ද රජය තීරණය කර තිබෙනවා.
ආපදාවට ලක්වූවන්ට සහන ලබාදීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ් ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් ද පැවැත්වුණා.