Gossips

තවත් පනත් කෙටුම්පතක් පිළිබඳ ඉදිරි සතියේ තීන්දුවක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයට වැළැක්වීමට අදාළ විශේෂ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ අනුව අදාළ පෙත්සම් ලබන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නියමිත අතර, එදින නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ විසින් මෙම කරුණු දැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 7 දෙනෙකු විසින් අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කර තිබුණා.
මෙම පෙත්සම් මගින් ඔවුන් සඳහන් කර තිබුණේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
ඒ තුළින් මානව හිමිකම් උල්ලංගණය වීමක් මෙන්ම ස්වෛරීභාවයට ද අගතියක් වන බව පෙත්සම්කරුවන් පෙන්වා දුන්නා.
එම නිසා අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
අදාළ කරුණු දැක්වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතයි.