Gossips

තවත් නොහික්මුනු බස් රියදුරෙක්

පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මගීන්ට රළු පරළු ලෙස සලකන අවස්ථාවන් පිළිබඳව අපට නිරන්තරයෙන් වාර්තාවනවා.
පසුගිය සතියේත් අප සී.අයි.ඒ. ඔස්සේ වාර්තා කළේ බස් රථ රියදුරෙකු හා කොස්දොස්තරවරයෙකු බස් රථය ගමනාන්තය දක්වා ධාවනය නොකර සිය අභිමතය පරිදි මගීන් අතරමග බස්සන ආකාරයයි.
එවැනිම ආකාරයේ තවත් සිදුවීමක් හිරු සී.අයි.ඒ. අදිසි කැමරා නෙතට හසුවුණේ ඉංගිරිය සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකයි.
මේ, මෙරට පෞද්ගලික මගී ප්‍රවාහන සේවාවේ ප්‍රමිතිය පිළිබඳව කදිම නිදර්ශනයක්.
මාර්ග අංක 125 ඔස්සේ ධාවනය වන ඉංගිරිය – පිටකොටුව බස් රථයේ සිටි සියලු මගීන් මරදාන ඩාර්ලි පාර ආසන්නයේදී වෙනත් බස් රථයකට බලහත්කාරයෙන් මාරු කරන්නේ නියමිත මාර්ගයේ ධාවනය කළහොත් සිය ඊළඟ ගමන්වාරය මඟ හැරෙන බව පවසමින්.
මෙයට විරුද්ධ වූ එම බස් රථයේ පැමිණි මගියෙකුට බස් රථයේ රියදුරුගෙන් හිමිවන්නේ රළු ප්‍රතිචාරයක්.
මෙම ප්‍රතිචාරය මෙරට පෞද්ගලික බස් මගීන්ට නුහුරු දෙයක් නොවේ.
ගමනාන්තය දක්වා මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා මගීන් මෙලෙස තැන තැන දමා යෑමට පෞද්ගලික බස් රථ රියදුරන්ට හෝ කොන්දොස්තරවරුන්ට බලය ලබා දී තිබේද?
මෙය සහමුලින්ම මගීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන්නේද?
අප දිගින් දිගටම මෙවැනි සිදුවීම් වාර්තා කළද මෙම ප්‍රවණතාවයේ අඩුවීමක් දක්නට නොලැබෙන අතරම මෙම ක්‍රියාවන් පාලනයට බලධාරීන් ක්‍රියාත්මක නොවීමත් බස් මගීන්ගේම අවාසනාව නොවේද?