Gossips

තවත් දළ ඇතෙකු අභිරහස් ලෙස මියයයි (ඡායාරූප)

අනුරාධපුර හොරොව්පතාන දුටුව රක්ෂිතයේ අභිරහස් ලෙස මියගොස් සිටි දළ ඇතෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් අද (03) දහවල් සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගෙන් ලැබුනු තොරතුරකට් අනුවයි වනජීවී නිලධාරින් විසින් මේ ඇතාගේ සිරුර සොයාගෙන ඇත්තේ.
මිට මාසයකට පමණ ඉහතදී මේ ඇතා මියයන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළකරනවා.
අඩි නවයක් පමණ උසින් යුත් මේ ඇතාගේ වයස අවුරුදු 25 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
මේ හස්තියාගේ දළ යුගලය කිසියම් පිරිසක් විසින් කපා ගෙන ගොස් තිබෙනවා.
මියගිය ඇතාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය කාර්යාල නිලධාරීන් විසින් සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇතා මිය ගොස් මාසයක් පමණ වන බැවින් නිගමනයකට පැමිණීමට අසීරු බවයි පශු වෛද්‍යවරයා පවසන්නේ.
මේ දළ හස්තියා මිය ගියාද නැතිනම් කිසියම් පිරිසක් විසින් මරා දමන්නට ඇත්ද යන්න පිළිබඳව හොරොව්පතාන වනජීවී නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

(ඡායාරූප – ගලෙන්බිදුනුවැව – චින්තක බාලසූරිය)