Gossips

තවත් ඇමතිවරුන් පිරිසක් පස්වරුවේ දිවුරුම් දෙන ලකුණු

රජයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙලෙස අමාත්‍ය ධුරවල දිවුරුම්දීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, ජාතික සමගිය, සහජීවනය සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ඒ.එච්.එම්. ෆවුසි අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.
දිවුරුම්දීම ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මේ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු මේ වනවිට දිවුරුම් දී තිබෙනවා.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරුන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතුයි.
එසේම, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව හතලිහ නොඉක්මවිය යුතු බවද එහි දැක්වෙනවා.
ඒ අනුව රජයට තවත් කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකු පත් කිරීමේ හැකියාව පවතින අතර, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 24 දෙනෙකු පත් කළ හැකියි.