Gossips

තරුණයෙකු පැහැරගත් හිරුනිකා වරද පිළිගනි

තමන්ට අයත් ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස්, පහරදී, සාපරාධී ලෙස බිය ගැන්වීම ඇතුළු චෝදනා පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී.
කෙසේ වෙතත් නඩුවේ සෙසු සැකකරුවන් සිය චෝදනා පිළිගන්නා අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළේ තමන්ට එරෙහිව ඇති චෝදනා පිළිනොගන්නා බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් 8 දෙනෙකුට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.
ඒ, 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැළක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු අධි චෝදනා 24 ක් යටතේයි.
නඩුව විභාගයට ගන්නා මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර අනෙකුත් චූදිතයින් වරද පිළිගත්තා.
එදින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළේ තමන් චෝදනා පිළිනොගන්නා අතර ඒ සඳහා නඩු විභාගයක් අවශ්‍ය බවයි.
ඒ අනුව
– පුද්ගලයෙකු අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම
– පුද්ගලයෙකු අයුතු ලෙස සිරකිරීම
– ඉහත කරුණු පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙක් වීම
– එලෙස කටයුතු කරමින් පැහැරගෙන යාම
– ඒ සඳහා ආධාර අනුබලදීම
– සාපරාධී බලහත්කාරය පෑම
– අඩන්තේට්ටම් කිරීම
– සාපරාධී බියගැන්වීම
ඇතුළු අධි චෝදනා 24 ක් යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හමුවේ ඊයේ විභාගය සඳහා කැඳවනු ලැබුවා.
එහිදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා දැනුම් දුන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි අධි චෝදනා සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්ෂිකරුවන් 10 දෙනෙකුගේ සාක්ෂි, ලේඛන සහ සිද්ධියේ CCTV දර්ශන ද ඉදිරිපත් කිරිමට සූදානම් බවයි.
එම අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ප්‍රකාශ කළේ සිය සේවාදායිකාව චෝදනාවල ඇතුළත් සියලු වැරදි පිළිගෙන නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කරගැනීමට සූදානම් බවයි.
ඒ පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අධිකරණයට කරුණු දැක්වීමට කල් ලබා දෙන ලෙස විත්තියේ නීතීඥවරයා ඉල්ලා සිටියා.
ඊට අවසර දෙමින් විනිසුරුවරයා නියෝග කළේ දෙසැම්බර් 11 වැනි දින නඩුව යළි කැඳවීමටයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුවට අදාළ සිද්ධිය වාර්තා වූයේ 2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදායි.
එදින දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නමට ලියාපදිංචි කරන ලද 62 – 1859 අංකය දරන ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි පිරිසක් පැහැර ගන්නා ආකාරය වෙළඳසැලේ ආරක්ෂක කැමරාවල සටහන්වී තිබුණා
පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වූයේ වෙළඳසැලෙන් පැහැරගෙන ඩිෆෙන්ඩර් රථයකින් කොළොන්නාවේ පිහිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් කාර්යාලයක් වෙත රැගෙන ගිය බවයි.
එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට තර්ජනය කළ බවත් එතැන සිටි පුද්ගලයින් තමන්ට පහරදුන් බවත් ඔහු පොලිසියට පැමිණිලි කර තිබුණා.