Politics Sri Lanka

තරුණයන් පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවන්ගේ ඉල්ලීම අධිකරණය ඉවතදමයි

තරුණයන් පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවන්ගේ ඉල්ලීම අධිකරණය ඉවතදමයි

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව විමර්ශන සිදුකිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙස විත්ති පාර්ශවය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (22) මේ සම්බන්ධ තීරණය ප්‍රකාශයට පත් කරමින් දක්වා ඇත්තේ එවැනි නියෝගයක් සිදුකිරීමට නීතිමය බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි.

2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව 08 වෙනි සහ 09 වෙනි සැකකරුවන් කළ ඇප ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

එම සැකකරුවන් ලබන මස 08 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

දැනට ඇප ලබා සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු සෙසු සැකකරුවන් 07 දෙනාට මැයි මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර ඇත.

මේ අතර ලබන මස පස් වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා වෙත අධිකරණය නියෝග කර තිබේ.