Gossips

තර්ජනය සිද්ධියකට ගලගොඩඅත්තේ හිමියන් වරදකරු වේ

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කිරීමේ සිද්ධියට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද වරදකරු කෙරුණා.
ඒ අනුව, උන්වහන්සේට දඩුවම් නියම කිරීම ලබන මස 14 වනදා සිදුකරන බවයි හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග දැනුම් දුන්නේ්.
2016 වසරේ ජනවාරි 25 වනදා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව දැක බලා ගැනීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද පැමිණ සිටි අතර, නඩුව අවසන් වීමෙන් පසු පිටතට පැමිණි සන්ධ්‍යා එක්නැලිගොඩට උන්වහන්සේ තර්ජනය කළ බවටයි චෝදනා එල්ල වුණේ.
පසුව, ඒ සම්බන්ධයෙන් ඇගේ නීතිඥයින් එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයාව සිටි රංග දිසානායකට දැනුම් දුන් අතර, ඔහු නියෝග කළේ සැකකාර ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ඒ අනුව, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අඩත්තේට්ටම් කිරීම සහ සාපරාධි බිය ගැන්වීම යන චෝදනා යටතේ හෝමාගම පොලීසිය නඩු පැවරූ අතර, අද එම චෝදනා දෙකටම උන්වහන්සේ වරදකරු කෙරුණා.
ඒ අනුව, දඩුවම් නියම කිරීම ලබන මස 14 වනදාට කල් තැබූ හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග සැකකාර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙර ඇප මත මුදා හැරීමටයි නියෝග කළේ.