Gossips

තරග තහනම් වූ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉල්ලීමක්

ක්‍රීඩකයන් 3 දෙනෙකුට පැනවු තහනම අඩු කිරීම පිළිබඳ සලකා බලන ලෙසට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර් සහ කැම්රන් බැන්ක්රොෆ්ට ලබාදුන් දඩුවම් වැඩි බවයි සංගමයේ සභාපති ග්‍රෙග් ඩයර් ප්‍රකාශ කළේ.
දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කල බවට ඔස්ට්‍රේලියාවට චෝදනා එල්ලවී තිබෙනවා.
මෙම චෝදනා පදනම් කර ගනිමින් ස්මිත්ට සහ වෝනර්ට වසරක ක්‍රිකට් තරග තහනමක් පැනවුනා.
කැමරන් බැන්ක්රොෆ්ට මාස 9 ක කාලයක් තරග තහනම් කෙරුනා.
එමෙන්ම ඩේවිඩ් වෝනර්ට ජීවිතාන්තය දක්වා ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය දැරීම ද තහනම්.
ඊට අමතරව ස්ටීව් ස්මිත්ට සහ බැන්ක්රොෆ්ට තරග තහනම අවසන් වීමෙන් පසු වසරක කාලයක් ගතවන තෙක් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය මෙහෙයවීම තහනම් වනවා.
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙම දඩුවම් පූර්වාදර්ශයක් වෙනුවෙන් නොගැලපෙන බවයි.
එමෙන්ම දඩුවම ඉතා දැඩි බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.
එබැවින් මෙම දඩුවම් කාලසීමාවන් අඩු කිරීමට හෝ ඒවා වෙනස් කිරීමට අවධානය යොමු කරන ලෙසටයි ක්‍රීඩකයන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ.
තහනම් කාලසීමාව අඩු කර තහනමින් පසු ජාත්‍යන්තර පිටියට පිවිසීමට පෙර පළමු පෙළ තරගවලට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම වැනි පියවරක් අනුගමනය කළ යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.