Gossips

තරංග සහ අකිල පිත්තෙන් – පන්දුවෙන් පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් පන්දුවාර 20 තරඟාවලියේ මේ වනවිට තරඟාවලියට එක්ව සිටින කණ්ඩායම් හතරම තරඟ 04 බැගින් ක්‍රීඩාකර තිබෙනවා.
ඒ අනුව මේ වන විට තමන් ක්‍රීඩා කළ තරඟ හතරම ජයගත් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම එහි පෙරමුණ ගෙන සිටිනවා.
ක්‍රීඩාකළ තරඟ 04න් තරඟ 03ක් ජයගත් දඹුල්ල කණ්ඩායම එහි දෙවන තැන හිමිකරගෙන ඇති අතර ගාල්ල කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවන්නේ එක තරඟයක් පමණක් ජයගෙනයි.
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමට කිසිඳු තරඟයක් ජය ගැනීමට හැකියාව ලැබී නැහැ.
මේ අතර තරඟාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතර පිතිකරණ අංශයෙන් උපුල් තරංග ඉදිරියෙන් පසුවන අතර පන්දු යවන්නන්ගේ අංශයෙන් වැඩි දක්ෂතාවයක් දැක්වීමට සමත්ව ඇත්තේ අකිල ධනංජයයි.
උපුල් තරංග තරඟ 04 ක් අවසානයේදී ඉනිම් හතරක් ක්‍රීඩා කරමින් ලකුණු 302ක් රැස්කරගෙන ඇති අතර එයට එක ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ඇතුලත් වනවා.
ඉනිම 04කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 167ක් රැස්කරගෙන සිටින අශාන් ප්‍රියන්ජන් තරඟාවලියේ පිතිකරණ අංශයේ දක්ෂතා දැක්වීමට සමත්ව ඇති තවත් ක්‍රීඩකයෙක්.
තරඟ 04 ක් අවසානයේදී ලකුණු 100 සීමාව පසුකර යාමට හැකියාව ලැබී ඇත්තේ ක්‍රීඩකයන් 08 දෙනෙකුට පමණක් වීම විශේෂත්වයක්.
මේ අතර පන්දු යැවීමෙන් දක්ෂතා දැක්විමට සමත්ව ඇති කොළඹ කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඉනිම 4දී කඩුලු 09ක් බිඳ දැමීමට සමත්ව සිටිනවා.
අන්තර් පළාත් 20-20 තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්ව ඇති ක්‍රීඩකයෙකු වන මහනුවර කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංගට බලාපොරොත්තු වූ අයුරින් දක්ෂතා දැක්වීමට හැකියාව ලැබී නැහැ.
ඔහුට මේ දක්වා දවාගැනීමට හැකියාව ලැබී ඇත්තේ එක් කඩුල්ලක් පමණයි.
ඒ අනුව පන්දු යවන්නන් 43ක් අතරින් මාලිංග පසුවෙන්නේ 32 වැනි ස්ථානයේයි.
තරග 4කදී ලසිත් පන්දුවාර 16ක් යවා ප්‍රතිවාදීන්ට ලකුණු 118ක් ලබාදී තිබෙනවා.
මෙවර තරඟාවලිය තුලදී කඩුලු පහක් හෝ ඊට වැඩියෙන් දවාගෙන ඇති ක්‍රීඩකයන් ගණන 07ක්.