Gossips

තරංගගේ සුපිරි ඉනිමෙන් කොළඹට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස තරඟාවලියේ ප්‍රථම තරඟය කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ඊයේ පැවැත්වුනේ කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී.
එම තරඟය ලකුණු 90 කින් ජයගැනීමට සමත් වුනේ කොළඹ කණ්ඩායමයි.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 197ක් රැස්කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග නොදැවී ලකුණු 124 ක් රැස්කළා.
පන්දු 67 කදී දියත් කළ ඔහුගේ ඉනිමට හයේ පහර 11 ක් සහ හතරේ පහර 5 ක් ඇතුලත්.
කොළඹ කණ්ඩායමේ සෙසු පිතිකරුවන් එකපෙලට දැවී යද්දී කලකට පසු පිටියට පිවිසි ජීවන් මෙන්ඩිස් ගේ ඉනිම බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූවා.
ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ ජීවන් මෙන්ඩිස් ඔහුගේ සුපුරුදු ප්‍රහාරාත්මක රිද්මයෙන් පන්දුවට පහරදුන්නා.
ජීවන් මෙන්ඩිස් පන්දු 13 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමඟ නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 30 ක්.
පන්දු යැවීමේදී නිශාන් පීරිස් සහ කසුන් රාජිත පන්දු වාර 4 බැගින් යැවූ අතර ඔවුන් දෙදෙනාම කඩුලු 2 බැගින් දවාගත්තා.
සුරංග ලක්මාල් එක් කඩුල්ලක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක පිතිකරණය හමුවේ කොළඹ කණ්ඩායමේ ජය තහවුරු වූවා.
ගාල්ල කණ්ඩායම වෙනුවෙන් බලාපොරොත්තු ගෙනා එකම පිතිකරු වූයේ ඇන්ජලෝ පෙරේරායි.
ඔහු පන්දු 35 කදී ලකුණු 54 ක් රැස්කරමින් කණ්ඩායමට මද අස්වැසිල්ලක් ගෙන ආවේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 කින් ඉනිම හැඩකරමින්.
පන්දු යැවීමේදී මෑත කාලයේ විස්සයි විස්සේ පිතිකරුවන්ට භීතිකාවක් වූ සුපිරි දඟ පන්දුව අකිල ධනංජය සිය වගකීම මැනවින් ඉටුකරමින් ගාල්ල ඉනිම සුන්කර දැමුවා.
එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ අකිල පන්දු වාර 3 යි පන්දු 2 කදී ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගත්තා.
ලහිරු මදුශංක කඩුලු 2 ක් දවාගත්තේ පන්දු වාර 3 කදී ලකුණු 12 ක් පමණක් ගාල්ලට ලබාදෙමින්.
ජීවන් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු කොළඹ වෙනුවෙන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ඒ අනුව ගාල්ල කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 2 කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 107 ක් පමණයි.
තරඟයේ සජීවී අවස්ථා පහතින්.