Gossips

තඹුත්තේගම විරෝධයට රාජාංගනයේ ගොවි සංවිධාන සභාපතිත් අත්අඩංගුවට

රාජාංගනය ජලාශයේ ජලය පානීය ජල ව්‍යෘපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් සිදුකළ විරෝධතාවය සංවිධාන කළ රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි සභාපති ඩබ්ලිව්.ඒ.නිහාල් වන්නිආරච්චි රාජාංගනය ප්‍රදේශයේදීම ඊයේ (01) අත්අඩංගුවට ගත් බවයි තඹුත්තේගම පොලිසිය සඳහන් කළේ.
තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා වීඩියෝ දර්ශනද උපයෝගී කර ගන්නා බවයි පොලිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අදාළ විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩකරමින් කලහකාරී ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට ගත් සැකකරුවන් 59 දෙනාගෙන් 50 දෙනෙකු මේ මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔවුන් තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඉන් 09 දෙනෙකු සානුකම්පිත හේතු ඉදිරිපත් කිරීම නිසා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් ගොවීන් පෙරේදා පාදෙනිය – අනුරාධපුර මාර්ගය අවහිර කරමින් පැය 03 කට අධික කාලයක් විරෝධතාවයේ නිරත වුණේ ව්‍යාපෘතිය නිසා තම ගොවිතැන් කටයුතු විනාශ වන බව පවසමින්.
එහිදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් මතුවූ අතර, පිරිස විසුරුවා හැරීමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කෙරුණා.
කෙසේ වෙතත්, පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ එම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා තමන් උපදෙස් ලබාදුන් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.