Gossips

තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය ගැන මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

ප්‍රදේශයේ පවතින අධික ජල ඉල්ලූම සහ වකුගඩු රෝග සැලකිල්ලට ගෙන රාජාංගන ජලාශයෙන් තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය සදහා ජලය ලබා ගැනීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කරන්නේ ඒ සදහා චීන සංවර්ධන බැංකුවේ ණය ආධාර ලබා ගැනීමට ද කටයුතු කළ බවයි.
රාජාංගනය ජලාශයෙන් තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය සඳහා දිනකට ජලය ඝන මීටර් 19,800ක් අවශ්‍ය බවට සැලසුම් කර ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද ලබා ගත් බවයි එහි දැක්වෙන්නේ.
එමගින් තඹුත්තේගම, ගල්නෑව, තලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ග්‍රාමසේවා කොට්ඨාශ 44කට ජලය සැපයීමට සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම ව්‍යාපෘතිය ජලය බෝතල් කර විකිණීමේ ව්‍යාපෘතියක් නොවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කළේ.
කෙසේ නමුත්, මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කිරීමට ප්‍රථම රාජාංගන ජලාශයෙන් ජලය ලබා ගැනීම පිළිබද පොදු එකගතාවකට පැමිණිය යුතු බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පෙන්වා දෙන්නේ.
එමෙන්ම, ජලාශයේ ජල ධාරිතාව අඩු කාලසීමාවන්හිදී පානීය ජල සැපයුම සීමා කිරීමට ද කටයුතු කළ හැකි බව එමගින් සදහන් කර තිබෙනවා.
රාජාංගනය ජලාශයේ ජලය පානීය ජල ව්‍යෘපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් සිදුකළ විරෝධතාවය සංවිධාන කළ රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අදාළ විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩකරමින් කලහකාරී ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට ගත් සැකකරුවන් 59 දෙනාගෙන් 50 දෙනෙකු මේ මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් ගොවීන් පසුගිය 28 වන දා පාදෙනිය – අනුරාධපුර මාර්ගය අවහිර කරමින් පැය 03 කට අධික කාලයක් විරෝධතාවයේ නිරත වුණා. එහිදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් මතු වූ අතර, පිරිස විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කළා.