Gossips

තඹුත්තේගම ගොවීන්ට සාකච්ඡාවක්

රාජාංගනය ජලාශයේ ජලය පානීය ජල ව්‍යාපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් සිදුකළ විරෝධතාවය සංවිධාන කළ බවට වන චෝදනාව මත අත්අඩංගුවට ගත් ගොවි සංගම් සභාපතිවරයා මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්.ඒ.නිහාල් වන්නිආරච්චි ඊයේ (01) පොලීසිය අත්අඩංගුවට ගත්තා.
මේ අතර, රාජාංගනය ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ විරෝධතාව පැවැත්වීමට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වීඩියෝ දර්ශනද උපයෝගී කරගනිමින් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
රාජාංගනයේ පැවති ගොවි විරෝධතාවයට සම්බන්ධ වූ 50 දෙනෙකු මාර්තු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
ඉන් 09 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරිනු ලැබුවේ සානුකම්පිත හේතු ඉදිරිපත් කිරීම හේතුවෙන්.
පාදෙනිය – අනුරාධපුර මාර්ගය අවහිර කරමින් පැය 03 කට අධික කාලයක් ගොවීන් පෙරේදා දිනයේදී මෙම විරෝධතාවය පවත්වනු ලැබුවා.
ඒ, යෝජිත රාජාංගනය ජලාශයේ පානීය ජල ව්‍යාපෘතිය මගින් සිය ගොවිතැන් කටයුතු විනාශ වන බව පවසමින්.
එහිදී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් මතු වූ අතර, පසුව පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක්ද එල්ල කළා.
ඊයේ (01) දිනය වනවිට වාර්තා වූයේ පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වීමට යෝජිත මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක උපදෙස් ලබාදී ඇති බවයි.
මේ අතර, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද (02) ගොවි සංවිධාන වෙත සාකච්ඡාවක් ද ලබාදී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ රාජාංගනය ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගොවීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳව මෙහිදී අවධානය යොමුකරන බවයි.
රාජාංගනයේ ගොවි උද්ඝෝෂණයේදී එය පාලනය කිරීම සඳහා පොලිසිය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ද අද(02) දැඩි විවේචනයක් එල්ල කළා.
එහි ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න දඹුල්ලේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ගොවීන්ගේ හඬට කන් නොදෙන ආණ්ඩුවේ අත්තනෝමතික හැසිරීම හෙළා දකින බවයි.