Gossips

තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහල ප්‍රදේශවාසීන් විවෘත කරයි

තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය අද ප්‍රදේශවාසීන් විසින් විවෘත කළේ දේශපාලනඥයින්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එය දිගින් දිගටම කල් දැමීමට විරෝධය පළ කරමින්.
උතුරුමැද පළාත් සභා මුදල් ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 17 ක වියදමින් ඉදිකෙරුණු තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහලේ නව පිරිමි වාට්ටුව අද විවෘත කිරීමට නියමිතව තිබුණේ පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.
ඒ වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාව උත්සවයක් ද සංවිධාන කර තිබුණා.
කෙසේ වෙතත්, සියලු කටයුතු සූදානම් කර තිබියදී පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ පැමිණ ප්‍රකාශ කර ඇත්තේ විවෘත කිරීමේ උත්සවය ලබන 18 වනදා දක්වා කල් දැමූ බවයි.
ඒ සමඟම උත්සවය සංවිධානය කළ ජනතාව උණුසුම්කාරි ලෙස හැසිරුණේ අමාත්‍ය දුමින්ද දිසානායක මෙම උත්සවයට පැමිණීමට නියමිතව සිටියත් සමරු ඵලකයේ ඔහුගේ නම නොතිබීම නිසා විවෘත කිරීම කල් ගිය බවට චෝදනා කරමින්.
අනතුරුව, අවස්ථා 3 කදී නව වාට්ටු සංකීර්ණය විවෘත කරන බවට පැවසුව ද එය ඉටු නොවීම හේතුවෙන් ජනතාව නව රෝහල් වාට්ටුව විවෘත කළා.