Gossips

තම පියාට එරෙහිවූ 2 වසරේ පාසල් දැරියගෙන් පොලිසියට පැමිණිල්ලක්

තමන්ට වූ විශේෂ පොරොන්දුවක් ඉටු නොකිරීම හේතුවෙන් සිය පියා පොලිසියට රැගෙනගිය කුඩා දැරියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ තමිනාඩු ප්‍රාන්තයේ අම්බුර් නගරයෙන්.
මෙලෙස සිය පියා පොලිසියට රැගෙන ගොස් ඇත්තේ හනිෆා සාරා නමැති සත් හැවිරිදි වියේ පසුවන දැරියක් බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එහිදී ඇය පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම පියා විසින් වැසිකිළියක් සදා දෙන බවට පොරොන්දු වුවද එය මෙතෙක් ඉටුකර නොමැති බවයි.
මේ හේතුවෙන් තමන්ට එළිමහනේ ශරීර කෘත්‍ය කිරීමට සිදුවීමෙන් මහත් ලැජ්ජාවක් සිදුවන බවයි එම දැරිය පොලිසිය පවසා ඇත්තේ.
තමන් පාසලේ පන්තියේ පළමුවැනියා වුවහොත් එය සාදා දෙන බවට සිය පියා පොරොන්දු වූ බවත් තමන් වසර ගණනාවක් තිස්සේ මෙලෙස රැවටුණු බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.
කුඩා දැරිය මේ බව සඳහන් කර ඇත්තේ විශේෂ ලිපියක් පොලිසිය වෙත ඉදිරිපත් කරමින්.
අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඇයගේ මව සහ පියා පොලිසියට කැඳවා තිබෙනවා.
එහිදී අදාළ දැරියගේ පියා පොලිසියට පවසා ඇත්තේ තමන් මේ වනවිට රැකියාවක් නොමැති පුද්ගලයෙකු බවයි.
මේ හේතුවෙන් තම නිවසේ වැසිකිළියක් සෑදීම ආරම්භ කළද එය නිමකරගැනීමට නොහැකිව ඇති බවයි ඔහු පවසා ඇත්තේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇති අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම ප්‍රදේශයේ බලධාරීන් වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අදාළ දැරිය වාසය කරන ප්‍රදේශයේ වැසිකිළි 500 ක් සෑදීම සඳහා මේ වනවිට අරමුදල් එක්රැස්කිරීම ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙළි කරන දත්ත අනුව ඉන්දියානුවන් බොහෝ දෙනෙකුට වැසිකිළි පහසුකම් නොමැති අතර, මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් තවමත් එම කාර්ය සිදු කරන්නේ එළිමහනේදීයි.
2019 වසර වන විට සෑම නිවසකටම වැසිකිළියක් ලබා දීමට ඉන්දියානු ආණ්ඩුවේ අරමුණ වුවද එයට යම් විරෝධතා එල්ල වී තිබීම විශේෂත්වයක්.
බොහෝ දෙනෙකු වැසිකිළි පවිත්‍ර කිරීමට ඇති අකමැත්ත මෙන්ම, වැසිකිළියක් අසල ජීවත් වීම පිළිබඳ ඇති "සමාජීය මත සහ කුල ගැටලු" මෙයට හේතු වී ඇති බවයි සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ.