Gossips

තම නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය රජයෙන් ඉල්ලයි

තමන් ඉදිරිපත් කළ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සළසන ලෙස අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය රජයෙන් ඉල්ලීමක් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සඳහන් කළේ තම කාර්යාලය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී නිකුත් කළ අතුරු වාර්තාව හරහා අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල් සඳහා අතුරු සහන යෝජනාවලියක් සහ සත්‍ය සොයාගැනීම මෙන්ම යුක්තිය පසිඳලීම උදෙසා නිර්දේශ ඉදිරිපත් කළ බවයි.
අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවා මේ වනවිට වසරක් ගතවන අතර, ඒ නිමිත්තෙන් මාර්තු මාසය තුළ වැඩසටහන් මාලාවක් සංවිධාන කර ඇතැයිද එම නිවේදනයේ සඳහන්.
එසේම අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම කාර්යාලය වෙත ප්‍රවේශය පහසු කිරීම උදෙසා ප්‍රාදේශීය කාර්යාල ස්ථාපිත කිරීමටද සැළසුම් කර තිබෙනවා.
අතුරුදන්වූ තැනැත්තන් සෙවීම සහ සොයාගැනීමේ කටයුතුවලට රාජ්‍ය ආයතන, අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම වෙනත් කොටස්කරුවන් සමඟ සම්බන්ධවීමට බලාපොරොත්තු වන බවයි අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය තවදුරටත් සඳහන් කළේ.