Gossips

තම්මැන්නාව රෝහලේ චෝදනා එල්ලවූ වෛද්‍යවරුන් පිළිබඳ පරීක්ෂණ

තම්මැන්නාව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය එම්.සී.ඞී. ආරියරත්න පවසනවා.
ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ රිය අනතුරක් සිදුවීමෙන් පසු එම රෝහලට ගෙන ආ තුවාලකරුවන් දෙදෙනෙකු භාරගැනීමට රෝහලේ වෛද්‍යවරුන් නොසිටි බවට එල්ලවී ඇති චෝදනාව පිළිබඳ අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
අනුරාධපුර – සීප්පුකුලම – අඹගහවෙල මංසන්ධියේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තුවාල ලැබූ පියෙකු සහ පුතෙකු තම්මැන්නාව රෝහලට ඇතුළත් කළද එහි වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් මිහින්තලේ රෝහල වෙත මාරුකර යවා තිබුණා.
මිහින්තලේ රෝහලට රැගෙන යමින් සිටියදී එම පියා සහ පුතා ජීවිතක්ෂයට පත්වූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.
එම අනතුරෙන් තුවාල ලැබූ 37 හැවිරිදි මව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහළට ඇතුළත් කර තිබෙනවා.
අදාළ සිදුවීමත් සමඟ තම්මැන්නාව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන්ට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කළා.