Gossips

තමන් රැවටූ එජාපයට සහජීවන ඇමතිගෙන් චෝදනා

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට නියමිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සිය පක්ෂය සහය ලබා නොදෙන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයෙන් පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූ සභිකයින් දිව්රුම්දීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දෙමළ ප්‍රගතිශිලි පක්ෂයෙන් තරඟ කර තේරිපත්වු සභිකයින් දිවුරුම්දීම ඊයේ පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණු අතර එම අවස්ථාවට මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ තමන් රවටා ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් සදහන් කළේ.
‘‘ පවතින විධායක ජනාධිපතිධුරය අවසන් කරන්නට ජනතා විමුක්ති පෙරමුණ 20 වන සංශෝධනයක් ගෙනවා කියලා කථා කරනවා. පක්ෂයක් හැටියට අපි කවදාවත් විධායක ජනාධිපතිධුරය සම්පුර්ණයෙන්ම අවසන් කරන්න එකඟවෙන්නේ නැහැ. මුළු රටම ජාතින් හැටියට පදනම් වෙලා බෙදන්නට සමහරු උත්සහා කරනවා. දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව පළාත් භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව ඡන්දය පාවිච්චි කරන එකම මැතිවරණය තමයි ජනාධිපතිවරණය. මගේ හිතමිත්‍ර අනුර කුමාරට කියන්න කැමති කරුණාකරලා එක කඩන්න එපා. ඒ වගේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපේ සහයෝගය බලාපොරොත්තුවෙන්න එපා කියලා කියන්න කැමති.
නුවරඑළිය දිස්ත්‍රීක්කයේ අපට උරුමවෙච්ච සමහර පත්වීම ලබාදීලා නැහැ. අපේ ඡන්දේ ලබාගෙන හොරකම් කරලා එජාපය පත්වීම ලබාදුන්නේ නැහැ. එජාපය ගැන අපි කණගාටුවෙන් ඉන්නවා. ඒවගේම දෙහිවල මහා නගර සභාවෙත් එක තමයි වෙලා තියෙන්නනේ. අපට උරුමවෙච්ච අවස්ථාවත් අපිට ලබැදෙන්නේ නැතුව එජාපය අපිව රවට්ටලා තියෙනවා. එජාප නායකයාට කියුවාම නායකතුමා අයියෝ මනෝෂන් වෙරි සොරි කියලා කියනවා මට. වෙරි සොරි කියන තත්වයේ ඉන්නවාද දන්නෑ එතුමා. දැන් මැතිවරණ ක්‍රමය සම්පුර්ණයෙන්ම අංචබචල් වෙලා තියෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කරනකොට අපි කියුවා. වෙනස් කරන්න එපා. ජනාධිපතිතුමාතුමා ඇහුන්කන් දුන්නේ නැහැ. අගමැතිතුමා ඇහුන්කන් දුන්නේ නැහැ. අනාගත්තට පසුව දැන් අපිට ඇවිල්ලා කියනවා අනේ කොහොමහරි පරණ ක්‍රමයට පළාත් සභා ඡන්දය හදලා දෙන්න. ඒකට උදවු කරන්න කියලා අපෙන් ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධව දැනට මම මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක සාකච්ඡා කරනකොට එතුමා කියුවා අපිට පරණ ක්‍රමය හොඳයි. පොදු පෙරමුණෙත් එකඟතාවය තියෙනවාග සුළු පක්ෂ එකඟතාවත් තියෙනවා. එජාප තුළ වැඩි බහුතර එකගතාවය තියෙනවා. එතකොට මේ පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්න සම්පුර්ණ එකඟතාවය වැඩි බහුතරයෙන් පාර්ලිමේන්තුවට තියෙනවා’’