Gossips

තමන් ගැන හොයන්නැයි සුජීව සේනසිංහ ජනපති කොමිසමට කියයි

විදුලි දුම්රිය නිෂ්පාදන සමාගමක් සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය ලබා දීම වෙනුවෙන් අල්ලසක් ඉල්ලූ බවට තමන්ට එල්ලවන චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඉල්ලා සිටිනවා.
මේ අතර මීට පෙර ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී අමාත්‍යවරයා එල්ල කල චෝදනා වලට පිලිතුරු සපයමින් අදාල සමාගම අද ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා.
විදුලි දුම්රිය නිෂ්පාදනය සඳහා අදාල සමාගමේ ආයෝජනය යුරෝ මිලියන 5000 ක් බව පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළා.
කෙසේ වෙතත් එම කාරණය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ් ආයතනය සිය ප්‍රවෘත්ති නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ඔවුන් ව්‍යාපෘති කාලසීමාව තුල මෙරටට ගෙන එන මුළු මුදල යුරෝ මිලියන 488 ක් පමණක් බවයි.
විදුලි දුම්රිය ව්‍යාපෘතිය ප්‍රායෝගික නෙවන බව ජනතාවට පෙන්වා දීමට රාජ්‍ය අමාත්‍යවරයා උත්සාහ කරන්නේ ඔහුට එල්ල වී තිබෙන කොමිස් චෝදනාව නිශේදනය කිරීමට බව සමාගම පෙන්වා දෙනවා.
තම සමාගමේ අධ්‍යක්ෂවරයා රාජ්‍ය අමාත්‍යවරයාට මරණ තර්ජන කල බවට එල්ල වන චෝදනා සහ මෙරට සොසේජස් කර්මාන්තශාලාවක් ඉදිකිරීමට ආයෝජන මණ්ඩල අනුමැති ලබා ගත් බව කියන ප්‍රකාශය ද ප්‍රතික්ෂේප කරන සමාගම මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටිනවා.
මේ අතර අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ විදුලි දුම්රිය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මීට පෙර අවස්ථාවක හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාටද මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවයි.