Gossips

තබ්බෝව ජලාශයේ වාන්දොරටු 20ම විවෘතයි – ගංගා, ජල මට්ටම් අඩුවේ – අදත් ප්‍රදේශ රැසකට තද වැසි

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 19 කට තවදුරටත් බලපෑම් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 125,954 ක්.
එමෙන්ම, අධික වර්ෂාපතනයත් සමඟ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාවද 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, පුත්තලම – තබ්බෝව ජලාශයේ වාන්දොරටු 20 ම අද අලුයම විවෘත කෙරුණා.
එහිදී වාන්දොරටු 6 ක් අඩි 3 බැගින් ද, වාන්දොරටු 8 ක් අඩිය බැගින් ද වාන්දොරටු 6 ක් අඟල් 6 බැගින් ද විවෘත කර ඇති බව සඳහන්.
මෙම තත්ත්වය හේතුවෙන් මීඔය පහළ ප්‍රදේශයේ පදිංචිකරුවන් අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
රාගල – සමගිපුර ප්‍රදේශයේ මාර්ගයක් හරහා වැටී ඇති ඇල මාර්ගයක සැඩ පහරට හසුවීමෙන් අවුරුදු 09 ක් පමණ වූ පාසල් ශිෂ්‍යාවක් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
පොලිසිය සඳහන් කළේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
ඇය පාසල නිමවී තවත් ළමයින් පස් දෙනෙකු සමඟ පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
ප්‍රධාන ගංගාවල ජල මට්ටම තවදුරටත් පහළ යාමක් පෙන්නුම් කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට ඇදහැලූණු ගිගුරුම් සහිත වර්ෂාවත් සමඟ යට වී තිබූ පහත් බිම් රැසක ජලය මේ වනවිට පහත බසිමින් පවතින බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
අධික වැසි හේතුවෙන් පුත්තලම, දංකොටුව – නාත්තන්ඩිය සහ නාත්තන්ඩිය – කුලියාපිටිය මාර්ග ඊයේ ජලයෙන් යට වී තිබුණා.
මේ අතර, අයහපත් කාලගුණයත් සමඟ අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් කැළණි ගඟ හරහා බියගම – කඩුවෙල නගර යා කරන ප්‍රධාන පාලම අද පෙරවරු 8 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.
ප්‍රධාන පාලමෙහි පැති බැම්මෙහි කොටසක් පෙරේදා ඛාදනයට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කිරීමටයි පියවර ගැණුනේ.
මේ අතර, අද දිනයේදීත් දිවයිනේ නිරිත දිග කොටසට වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.