Gossips

තනතුරු අහිමිවූ නිදහස් පක්ෂ ප්‍රබලයන් වෙනසකට සැරසේ

තම කණ්ඩායමට දේශපාලන විකල්ප පවතින බව ඊයේ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා.
ඔවුන් සඳහන් කරන්නේ කුමන තත්ත්වයක් නිසා හෝ තම අරමුණ වෙනස් නොවන බවයි.
ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් 7 දෙනෙකු ආසන සංවිධායක ධුරවලින් ඉවත් කෙරුණේ ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයකට අනුවයි.
ආසන බල මණ්ඩල ස්ථාපිත නොකිරීම මෙලෙස ආසන සංවිධායක ධුරවලින් ඉවත් කළ පිරිසට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වනවා.
ඒ අනුව, සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා කඩුවෙල සංවිධායක ධුරයෙන් ද, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මන්ත්‍රීවරයා රත්නපුර සංවිධායක ධුරයෙන් ද, අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා කටුගම්පොල සංවිධායක ධුරයෙන් ද ඉවත් කර තිබෙනවා.
මීට අමතරව, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඔහු දැරූ හක්මන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති අතර, ටී.බී. ඒකනායකට ද යාපහුව සංවිධායක ධුරය අහිමි වුණා.
චන්දිම වීරක්කොඩි හබරාදුව සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති අතර, හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් ද කරන්දෙණිය සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
මේ අතර, ඉවත් කළ සංවිධායකවරුන් වෙනුවට නව සංවිධායකවරුන් පත් කිරීම අද සිට සිදුවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ.
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශනගෙන් හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ පක්ෂය වෙනුවෙන් වසර ගණනාවක් සිදුකළ කැපවීමට දැක්වූ උපහාරය පිළිබඳව ස්තූතිවන්ත වන බවයි.