Gossips

තද වැසි තවදුරටත්

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තද අකුණු සහ වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
එමෙන්ම දිවයිනට ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මාතර සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි අතර, සුළෙඟ් වේගය ක්‍ෂණිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි.
මේ නිසා එම මුහුදු ප්‍රදේශ ක්‍ෂණිකව රළුවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට ඒ පිිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටයි දැනුම් දෙන්නේ.
මේ අතර කටුනායක ගුවන්තොටුපල අවට ප්‍රදේශයට ඇදහැලූණු අධික වර්ෂාවත් සමග ගුවන් යානා 5 ක් හරවා යැවීමට ගුවන් තොටුපල බලධාරීන් පියවර ගත්තා.
මින් ගුවන් යානා 4 ක් මත්තල ගුවන් තොටුපල වෙත ඊයේ හරවා යැවුණු අතර, ඉන් 2 ක් රාත්‍රියේ යළි කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඉන්දියාවේ මදුරෙයි සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණෙමින් තිබූ යූ.එල්. 140 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය අයහපත් කාලගුණය හේතුවෙන් යළි මදුරෙයි වෙත යළි හරවා යැවීමට ගුවන් තොටුපල බලධාරීන් පියවර ගත්තා.