තංගල්ල – මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයකදී අශෝභන ලෙස හැසිරෙමින් මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන තරුණ තරුණියන් 10 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කර තිබූ මෙම සාදයේදී අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් පස්දෙනෙකු වන බව සඳහන්.
ඔවුන් වයස අවුරුදු 16 ත් 26 ත් අතර පසුවන මාතර, කැකිරාව, හිඟුරක්ගොඩ, රාගම, කඩුවෙල සහ කඩවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලීසිය කියා සිටියේ.
එහිදී ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක්, මත්පැන් සහ බීර පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් අද (07) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර කුලියාපිිටියේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලක් අසලදී හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 251 යි මිලිග්‍රෑම් 100 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 25 කට අධික වන අතර, 36 හැවිරිදි සැකකරු කුලියාපිිටිය – පල්ලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මරදාන සහ තොටළඟ ප්‍රදේශවලදී ඊයේ (06) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
