Gossips

ඩෝසර් කළ තවත් පුරාවිද්‍යා බිමක්, දිඹුලාගලින් සොයා ගැනේ

පොළොන්නරුව – දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අල්ලෙවැව – මහවැලි රක්ෂිතයේ පිහිටි ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රැසක් පිහිටි භූමියක් සංවර්ධන කටයුත්තක් සඳහා වෙන් කර ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
මෙම ඉඩම මහවැලි අධිකාරියට අයත් භූමියක පිහිටා තිබෙන අතර, අක්කර 50ක පමණ ප්‍රදේශයක මෙම සංවර්ධන කටයුත්ත සිදුකරන බවටයි වාර්තා වන්නේ.
අනුරාධපුර මුල් යුගයේ බෞද්ධ සංස්කෘතිය ආරම්භ වූ කාලයට අයත් යැයි කිව හැකි ප්‍රාදේශීය බෞද්ධ මධ්‍යස්ථානයක නටබුන් මෙහි පැවති බවට සාක්ෂි ලැබී තිබෙනවා.
අනුරාධපුර යුගයට අයත් වටිනා චෛත්‍යයක් ද, ගල් කණු සහ සෙවිලි කරන ලද පැති උළු සාධක වශයෙන් විනාශ වී ගිය පුරාවස්තු ද මෙහි දැක ගත හැකි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එම පුරාවස්තු හඳුනා ගත නොහැකි තරමටම ශේෂ වී යන ආකාරයට ඩෝසර් මගින් සමතලා කර ඇති බව ද අප වාර්තාකරු සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවලගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ඒ පිළිබදව සොයා බලන බවයි.
මේ අතර, එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන බැලූම්ගල පුරාවිද්‍යා භූමිය බැකෝ යන්ත්‍ර යොදාගෙන විනාශ කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරුණු 3ක් යටතේ ඉපලෝගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව ද අද වාර්තා වුණා.