Gossips

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ දයාන් බුද්ධිම තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

පාතාල නායක මාකදුරේ මදූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ දයාන් බුද්ධිම පෙරේරා නමැත්තාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය රැදවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරමින් සිටිනවා.
ඒ සම්බන්ධයෙන් අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර ඇති බවයි එම කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පසුගිය බදාදා මෙරටට පිටුවහල් කරනු ලැබූ 39 හැවිරිදි දයාන් බුද්ධිම පෙරේරා අහුංගල්ල – බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහුත් සමඟ එදින තවත් 05 දෙනෙකු මෙරටට පිටුවහල් කෙරුණු අතර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් පසුව දයාන් බුද්ධිම පෙරේරා නමැත්තා වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දෙනු ලැබුවා.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මධූෂ්ගේ ඥාති සොහොයුරෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ පසුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සදුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඊට අමතරව ශ්‍රී ලංකාවට පිටුවහල් කළ පිරිස අතර සිටි මධූෂ්ගේ පියාගේ බාල සොහොයුරා වන හේවගේ රූපදාස ඇතුළු අනෙක් 4 දෙනා ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මුදා හැරුණා.
කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට ගැණුනු දයාන් බුද්ධිම පෙරේරා ගුවන් හමුදාවෙන් පලා ආ සෙබලෙකු වන අතර මොහු මනුෂ්‍ය ඝාතන කිහිපයකට ද සම්බන්ධ බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් මේ වන විට 23 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා.
ඒ අතරින් 6 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.
සෙසු පුද්ගලයින්ගෙන් දෙදෙනෙකුගෙන් රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කෙරෙන අතර අනෙක් පුද්ගලයින් 15 දෙනා මුදා හැර තිබෙනවා.
මේ අතර, තමන් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා මාකදුරේ මධූෂ් එරට අධිකරණය හමුවේ ගොනුකළ නඩුවේ තීන්දුව ලබාදීම මැයි මස දෙවනදා දක්වා කල් දමනු ලැබුවා.