Gossips

ඩුබායිහිදී ඇල්ලූ මධුෂ් ඇතුලූ පිරිස සති 2 ක් රැඳවුම් භාරයට – ජ.වි.පෙ. විවාදයක් ඉල්ලයි

ඩුබායිහිි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු සෙසු සැකකරුවන් සති දෙකක කාලයක් රඳවා තබා ගැනීමට එරට අධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු මේ බව සනාථ කළා.
පසුගිය 05 වනදා ඩුබායි සුපිරි හෝටලයක සාදයක් අතරතුරදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ් ඇතුළු සෙසු සැකකරුවන් එරට අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ පළමු වරටයි.
මේ අතර රැදවුම් භාරයේ තබා ගනිමින් මොවුන් පිළිබඳව ඩුබායි පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වන බැවින් මෙරට විමර්ශණ කණ්ඩායමක් ඊට සහයෝගය දැක්වීම සඳහා ඉදිරියේදී පිටත්ව යාමට නියමිත බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එම උසස් නිලධාරියා සඳහන් කළා.
කෙසේ වෙතත් එම විමර්ශණ කණ්ඩායමට ඇතුලත් වන නිලධාරීන් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.
එමෙන්ම ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, ජනප්‍රිය ගායක අමල් පෙරේරා සබදතා පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාල නඩුව ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
මේ අතර මාකදුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියා සිටියේ ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී ඒ සඳහා දින වෙන් කරනු ඇති බවයි.