Gossips

ඩුබායිවලින් පිටුවහල් කළ මධූෂ්ගේ බාප්පා ඇතුළු 6 දෙනාගෙන් බුද්ධි අංශයත් ප්‍රශ්න කරයි

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් පිරිස සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශය තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවූ මෙම සැකකරුවන් හයදෙනා මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අද අලූයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබුවා.
ඒ අලූයම 4.45 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.
ඔවුන් අතර මධුෂ්ගේ බාප්පා මෙන්ම ඥාති සහෝදරයෙකුද සිටිනවා.
බාප්පා, සයිමන් හේවගේ ලෙස හඳුනාගෙන ඇති අතර, ඥාති සොහොයුරා නිලාන් රොමේෂ් සමරසිංහ නැමැත්තෙක්.
මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්, ගයාන් බුද්දිම පෙරේරා, මොහොමඩ් ජබීර්, සුරේෂ් වසන්ත රණසිංහ සහ යන අය සෙසු පිරිසට අයත්.
ඒ අතර මාකඳුරේ මධුෂ්ගේ මිතුරන් කිහිපදෙනෙකුද සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2005 වසරේ මීගමුවේ පුද්ගලික මූල්‍ය ආයතන දෙකකින් මුදල් කොල්ලකෑමේ සිද්ධියකට මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔහු ඇප ලබාදීමට ඉදිරිපත්ව ඇත්තේ අද පිටුවහල් කළ ඥාති සහෝදරයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
එසේම, ඔහුගේ පියාගේ බාල සහෝදරයා වන 53 හැවිරිදි පුද්ගලයා සූරියවැව – හත්පෝරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.