Gossips

ඩී.අයි.ජී. ගැන හෙළි කළ නාමල්ටත් චෝදනාවක්

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් සිදුකෙරුණු හෙළිදරව්ව තුළින්, අත්අඩංගුවේ සිටින මහසොන් බලකායේ කැදවුම්කරු අමිත් වීරසිංහට අසාධාරණයක් සිදුව ඇති බව ඔහුගේ බිරිඳ වන ජයංගනී සිතුමිණී පවසනවා.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශ පදනම් කර ගනිමින් මහසොන් බලකායේ අමිත් වීරසිංහ නිදහස් කරන ලෙස ඉල්ලා, ඇය අද පොලිස් කොමිසමට පැමිණිල්ලක් ද සිදුකළා.
මේ අතර, ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර කළ හෙළිදරව්වේ සංස්කරණය නොකරන ලද දර්ශන ඇතුළත් වීඩියෝපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට මාධ්‍ය ආයතන 4කට අද නියෝග කෙරුණා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.
එමෙන්ම, අදාළ චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
පරීක්ෂණ අවසන් වනතුරු ඔහු තොරතුරු තාක්ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත්තේ පොලිස් කොමිසමේ ආවරණයට යටත්ව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින්.
මේ අතර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් හෙළිදරව්වක් කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.
පෙරවරු 10ට පමණ එම දෙපාර්තමේන්තුවට පැමිණි ඔහුට අදාළ සිද්ධිය පිළිබඳ හඬපට ඇතුළත් ඔහුගේ ජංගම දුරකථනය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙසටයි දැනුම් දී තිබුණේ.
ඊට අමතරව පසුගිය 14 වනදා රාත්‍රියේ සිට 15 වනදා අළුයම තෙක් තුල්හිිරියේ පිහිටි සිය නිවසේදී ද මොහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6 කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පසුගිය 12 වනදා මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තමන් සමග පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක හඬ පටය මාධ්‍ය වෙත මුදා හැරියා.
එමඟින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අනතුරක් සිදු කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්ද කරුණු දැක්වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ද පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබුණා.
මේ අතර සංහිඳියාව උදෙසා වූ ජාතික ව්‍යාපාරය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළේ නාමල් කුමාර නමැත්තා කළක් තිස්සේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවයි.
එමෙන්ම පිවිතුරු හෙළ උරුමය අද පොලිස් කොමිසමට පැමිණිල්ලක් සිදුකළා.
ඒ, චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ඔහුගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලමින්.
මීට අමතරව එකී පරීක්ෂණ කටයුතු මෙහෙයවීම අතපසු කිරීම මත පොලිස්පති පූජිත් ජයසුන්දර සේවයෙන් ඉවත් කරන ලෙස අවශ්‍ය නිර්දේශයන් කතානායකවරයා වෙත යොමුකරන ලෙස ද ඔවුන් එම පැමිණෙල්ලෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත්, පසුගියදා දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සමඟපැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පොලිස් කොමිසමට පැමිණි සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් විසින් නාමල් කුමාර අද දැඩි ලෙස විවේචනයට ලක් කළා.
ඒ මහසොන් බලකායේ කැඳවුම්කරු අමිත් වීරසිංහට සිදුවූවායැයි කියන අසාධාරණයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා පොලිස් කොමිසමට පැමිණි අවස්ථාවේයි.