Gossips

ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් නීති විරෝධීව නිදහස් කර ගත් සැකකරුවෙකුට ඇප

ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් නීති විරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
රේගු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාල සැකකරු වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඉන්දියාවට ප්‍රති අපනයන කිරීමේ ජාවාරමේද ප්‍රධාන සැකකරුවෙකු වන බවයි.
අදාල බීඩි කොළ කන්ටේනරය පසුගිය වසරේ දෙසැම්බර් 3 වෙනිදා මෙරටට ආනයනය කර තිබෙනවා.
ටොන් 12ක බීඩි කොළ සහිත මෙම කන්ටේනරය බදු වංචා කරමින් රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාල සැකකරු කටයුතු කර ඇති අතර ඉන් රටට අහිමිව ගිය බදු ආදායම පමණක් රුපියල් කෝටි 4ක්.
කෙසේවෙතත් මේ පිළිබඳව සැලවූ වහාම අදාල කන්ටේනරය ලුහුබැඳ ගොස් වත්තල ප්‍රදේශයේදී සිය භාරයට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබෙනවා.
රේගු ආරංචි මාර්ග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලදී මෙම කන්ටේනරය නිදහස් කර ගැනීමට නූර්දීන් ෆසාල් අහමඩ් නම් පුද්ගලයෙක් සංවිධානාත්මක ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි.
ඒ අනුව ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙසට මාසයකට අධික කාලයක් ඔහුට දැනුම් දී ඇතත් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ආසන්න ස්ථානයකදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබෙනවා.
අනතුරුව සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහු ඇප මත නිදහස් කිරීමට නියෝග කෙරුණා.
කෙසේවෙතත්, රේගු ආඥා පනතට අනුව රුපියල් ලක්ෂ 10ට වැඩි වටිනාකමින් යුක්ත භාණ්ඩ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට ඇප ලබා දීමේ බලය පැවරෙන්නේ මහාධිකරණයටයි.
මෙම වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පසුබිමක මෙම ප්‍රධාන සැකකරු ඇප මත නිදහස් වීම සිය විමර්ශන වලට බාධාවක් බව රේගු නිලධාරීන් පෙන්වා දෙනවා.
මේ අතර, වියට්නාමයෙන් ගෙන්වූ ගම්මිරිස් මෙරට ගම්මමිරිස් ලෙස හඟවා යළි ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ ජවාරමක් සම්බන්ධයෙන් ද පසුගිය දා තොරතුරු අනාවරණ වුණා.
ඒ, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එම ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව රේගු වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනයත් සමඟයි.
රේගු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ගම්මිරිස් ජාවාරමටද අදාල සැකකරු සෘජුව සම්බන්ධ බවයි.
මේ අතර, මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන රේගු නිලධාරීන්ට අදාල සැකකරු අධිකරණය තුලදීම තර්ජනය කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
rn