Gossips

ටෙස්ට් තරඟ තුනම ජයගත් සුරංග ලක්මාල් නායකත්වයේ දිගටම ඉන්න සූදානම්

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවති දෙවන ටෙස්ට් තරඟය අද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට සමත් වුණා.
මෙය සුරංග ලක්මාල් නායකත්වය දරමින් ලද තුන්වන ටෙස්ට් ජයග්‍රහණයයි.
තරඟාවලියෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරන්නේ නම් තවදුරටත් නායකත්වය දැරීමට තමන් සූදානම් බවයි.
ප්‍රශ්ණය – හිතෙන්නේ නැද්ද දිගටම නායකත්වයේ හිටියොත් හොඳයි කියලා..?
පිළිතුර – මට මේක තාවකාලිකව ලැබුණු දෙයක්. නායකත්වය කියන්නේ අකුරු 4 ක් විතරයි. නායකත්වයට අනිත් අය සහයෝගය දුන්නේ නැත්තම්
නායකයට තනියම දිනන්න බැහැ කවදාවත් තරගයක්. ඒ නායකත්වය… කියන එක…. ඒගැන මම … ඇත්තටම ඒ ගැන මගේ බලාපොරොත්තුවක් නැහැ..
ප්‍රශ්ණය – දිගටම නායකත්වය ලැබුනොත් භාරගන්නවද..?

පිළිතුර – මං හිතන්නේ එයාලා තීරණය කළොත් මම භාරගන්නවා. නැතුව මම ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් හින්දා මට නායකත්වය කියන දේ
තිබුණත් නැතත් මට ඇත්තටම ඒක ප්‍රශ්නයක් නැහැ. නායකත්වය ගන්න නෙමෙයි මම මෙතෙක් කලක් ක්‍රීඩා කරලා තියෙන්නේ. මම ඉස්සරහටත් ඒ විදිහට තමයි ක්‍රීඩා කරන්නේ. චන්දිමාල් කැප්ටන් කළත්, කවුරු කැප්ටන් කළත් මට දෙන්න පුළුවන් සහයෝගයක් මම සීයට 200ක් කණ්ඩායමට දෙනවා.

දෙවන ටෙස්ට් තරඟයේදී ලකුණු 490 ක අසීරු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිලට දෙවන ඉනිමේදී සියලූ ක්‍රීඩකයන් දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 290 ක් පමණයි.
එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් තෙවුනිස් බෘයින් ලකුණු 101 ක් රැස් කළ අතර, රංගන හේරත් ලකුණු 98 ක් ලබාදී කඩුලු 6ක් බිඳ හෙලුවා.
ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලකුණු 338 ක් සහ දෙවන ඉනිමේදී කඩුලු 5ක් දැවී ලකුණු 275 ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකානු පිලට පළමු ඉනිමේදී ලබා ගත හැකිවූයේ ලකුණු 124 ක් පමණයි.
මේ අනුව, මෙම තරඟයෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 199 ක ජයක් හිමිවනවා.
මෙම තරඟයේදී දකුණු අප්‍රිකානු පිලේ කඩුලූ 20ම දඟ පන්දු යවන්නන් විසින් ලබා ගැනීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව මෙලෙස ටෙස්ට් තරඟාවලි ජයක් වාර්තා කරනු ලැබුවේ වසර 12 කට පසුවයි.
දෙවන ටෙස්ට් තරඟයේ මෙන්ම තරඟාවලියේ වීරයා ලෙස දිමුත් කරුණාරත්න නම් කෙරුණා.