Gossips

ටෙලි නිර්මාණ අලෙවි කිරීමේදී රඳවා ගැනීමේදී බද්ද අය නොකිරීමට ජනපතිගෙන් උපදෙස්

ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේ දී 14% ක රඳවා ගැනීමේ බද්ද අය නොකරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමාත්‍ය මංගල සමරවීරට උපදෙස් ලබාදී තිබෙනවා.
නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙසට අර්ථකථනය කිරීම හේතුවෙන් ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේ දී 14% ක බදු මුදලක් අය කෙරෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.
එම තත්වය නිවැරදි කර එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙසට අදාළ ආයතනවලට ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වෙත උපදෙස් දී තිබෙනවා.
ටෙලි නාට්‍ය ඇතුලු අනෙක් කලා ක්ෂේත්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයන් ඇතුලු කලාකරුවන් පිරිසක් සමග අද පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.
එමෙන්ම නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුලු අනෙකුත් කලා ක්ෂේත්‍රවල ඉදිරි ගමනට යම් බාධාවන් එල්ල වී ඇත්නම් අදාළ ආයතන සමග සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණයේ යෙදීමේ දී තමන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී කලාකරුවන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර නව බදු ප්‍රතිපත්තියට ද ගැටලුවක් ඇති නොවන අයුරින් එම ගැටලු සඳහා සාධාරණ විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.