Gossips

ටෙන්ඩර් අක්‍රමිකතාවක්

හදිසි ඖෂධ මිලදී ගැනීමේ මුවාවෙන් රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුකළ ටෙන්ඩර් අක්‍රමිකතා පසුගිය කාලයේ නිරන්තරයෙන් වාර්තා වූණා.
සැකයට තුඩු දෙන කරුණු රැසක් ඇතුළත් එවන් මිලදී ගැනීමක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට ලැබුණු අතර, අප කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ අදාළ පිළිකා ඖෂධය මෙරට පිළිකා සංගමයද ප්‍රතික්ෂේප කර ඇති බවයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ට්‍රස්ටුසුමැබ් නැමැති පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධය සඳහා හදිසි ටෙන්ඩර් කැඳවීමක් පසුගිය 21 වැනිදා නිවේදනය කරනු ලබනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ ඖෂධ කුප්පි 557 ක් සඳහා මිල ගණන් කැඳවා ඇති බවයි.
ඒ සඳහා ආයතන 04 ක් ඉදිරිපත් වන අතර, පිළිවෙලින් ඔවුන් රුපියල් 64,700 සිට රුපියල් එක්ලක්ෂ 35,900 දක්වා මිල ගණන් ඉදිරිපත් කරනු ලබනවා.
එම මිල ගණන් හා ඔවුන්ගේ පිරිවිතරයන් අගයනු ලබන්නේ පංච පුද්ගල ටෙන්ඩර් මණ්ඩලයක් මගින්.
එම ඇගයුම් පත්‍රිකාවට අනුව අඩුම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනය සහ වැඩිම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනය අතර ඇති එකම වෙනස වන්නේ වැඩිම මිල ඉදිරිපත් කළ ආයතනය මීට පෙර මෙම ඖෂධය සපයා තිබීම පමණයි.
අනෙකුත් සියලුම පිරිවිතරයන් සැසඳුණද රුපියල් 71,200 ක මුදලක් එක් ඖෂධ කුප්පියක් වෙනුවෙන් වැඩිපුර ගෙවීමට ටෙන්ඩර් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ අඩු මිලට සියලු පිරිවිතරයන් සහිත සැපයුම්කරුවෙකුට ඖෂධ සැපයීමට අවස්ථාව අහිමි කරමින්.
මීට පෙර ඖෂධය සපයා තිබීම මත පමණක් පදනම්ව පිරිනැමූ ටෙන්ඩරය නිසා ඖෂධ කුප්පි 557 ක් වෙනුවෙන් රජය වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් තුන්කෝටි අනූ හය ලක්ෂ 58,400 ක්.
එලෙස වැඩි මුදලක් ගෙවා මිලදීගත් අදාළ සමාගමේ ඖෂධය මෙරට පිළිකා සංගමය පවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ වෙතත්, අඩුම මිල ගණන් ඉදිරිපත් කළ සමාගම සඳහා ඇමරිකානු ඖෂධ හා ආහාර සංගමයේ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තිබියදී එම සමාගම ප්‍රතික්ෂේප කිරීම විමතියට කරුණක්.
අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ මෙම ටෙන්ඩරය කැඳවීමට දින 20 කට පෙර අදාල මිල අධික සමාගමෙන්ම ඖෂධ කුප්පියක් රුපියල් එක්ලක්ෂ 35,900 බැගින් කුප්පි 970 ක්ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලට ගෙන ඇති බවයි.
ඒ අනුව රුපියල් දසකෝටි අසූහත් ලක්ෂ 22,400 ක් ට්‍රස්ටුසුමැබ් නැමැති පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධය සඳහා රජය වැඩිපුර වියදම් කර තිබෙනවා.
එම දසකෝටියකට අධික මුදල සැබවින්ම රෝගීන්ගේ යහපත උදෙසා රජය වියදම් කළේ ද, නැතිනම් අඩු මුදලට එම ප්‍රමිතියෙන් යුත් ඖෂධ මිලට ගැනීමට හැකියාව තිබියදී ටෙන්ඩර් මගඩියක් වූයේද යන ප්‍රශ්නවලට බලධාරීන් පිළිතුරු සැපයිය යුතු නොවේද ?