Gossips

ට්‍රම්ප් – කිම් ජොං අන් ගිවිසුමකට අත්සන් තබයි

වසරක කාලයක් තිස්සේ දැඩි පසමිතුරන් ලෙස තර්ජනාත්මක වාග් ප්‍රහාරවල නිරත වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා සමුළුව මේ වනවිට සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී ක්‍රියාත්මකයි.
ඔවුන්ගේ සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාව වන්නේ උතුරු කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණයයි.
කැපෙල්ලා නිකේතනය ආලින්දයේ ඇමරිකානු සහ උතුරු කොරියානු ධජ පසුපසින් ලෙලදෙද්දී ජනපති ට්‍රම්ප් සහ කිම්ජොං අන් උණුසුම් ලෙස අතට අත දුන් ආකාරය අද ලොව පුරා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සිහිවටනයක් බවට පත්වුණා.
මෙම සාකච්ඡාව අතිශය සාර්ථක වනු ඇති බවට ජනපති ට්‍රම්ප් බලාපොරොත්තු පළ කල අතර, සාකච්ඡාවේ ආරම්භය කෙතරම් දුෂ්කරවීද යන්න උතුරු කොරියානු නායක කිම්ජොං අන් මුලින්ම පැහැදිලි කළ කරුණයි.
සිය භාෂා පරිවර්තකයන් පමණක් කැටුව ජනපති ට්‍රම්ප් සහ කිම්ජොං අන් විනාඩි 40 ක පමණ සාකච්ඡාවක නිරත වූ අතර, ඉන් අනතුරුවයි දෙපාර්ශවයේ උපදේශකයන් සහ අනෙකුත් නියෝජිතයන් ක්‍රියාකාරි දිවා භෝජනයට එක්වූයේ.
සාකච්ඡා අතරතුර ඉන් මොහොතකට මිදී පැමිණි ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා ගිවිසුමකට අත්සන් තැබුවා.
එය පරිපූර්ණ ගිවිසුමක් ලෙස ජනපති ට්‍රම්ප් හැදින්වූ අතර, එහි අඩංගු කරුණු අනාවරණ කළේ නැහැ.
අතීතයේ සිදුවීම් පසෙකලා ලෝකයටම වෙනසක් අත්දැකීමට කටයුතු කරන බවයි උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කළේ.
සාකච්ඡා විශාල ප්‍රගතියක් අත් කරගෙන ඇති බව ජනපති ට්‍රම්ප් එහිදී කියා සිටියා.