Gossips

ට්‍රම්ප්ට අද ජනමත විචාරණයක්

වර්ගවාදය සහ නීති විරෝධී සංක්‍රමණික අර්බුදය යළි කරළියට පැමිණි ඇමරිකානු මැදිකාලීන මැතිවරණය අද පැවැත්වෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන කාලය මධ්‍යයේ එනම්, ඔහුගේ වසර 4ක නිළ කාලයෙන් වසර දෙකක් ගෙවී යන විටයි මෙම මැතිවරණය පැවැත්වෙන්නේ.
එහිදී ඇමරිකානු මහජන නියෝජිත සභාවට සහ සෙනෙට් මණ්ඩලයට සභිකයන් පත් කර ගැනෙන අතර, එය පොදුවේ හැඳින්වෙන්නේ ඇමරිකානු කොංග්‍රසය ලෙසයි.
එහි පාලනය හිමි කර ගැනීම ජනපති ට්‍රම්ප්ගේ ඉදිරි වසර දෙකක පාලනයට අතිශයින් වැදගත් වනවා.
මහජන නියෝජිත සභාවේ ආසන 435ක් සහ සෙනෙට් අසුන් 100ක් අතුරින් 35ක් සඳහා පැවැත්වෙන මෙම මැතිවරණය මේ වන විටත් තියුණු මුහුණුවරක් ගෙන අවසන්.
නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලබන ජනපති ට්‍රම්ප් මෙම මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රචාරය කළ දැන්වීමක් අවසන් මොහොතේ ඉවත් කරගෙන තිබෙනවා.
එහි දැක්වෙන ඇමරිකානු සිවිල් ආරක්ෂකයන්, නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට වෙඩි තැබීමේ රූප රාමු වර්ගවාදී ලෙස හඳුන්වමින් ප්‍රචාරය කිරීම සී.එන්.එන්. ඇතැම් රූපවාහිනී නාලිකා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.