Gossips

ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 06 ක බරපතල සිරදඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන එනු ලැබුවා.
පසුගිය 20 වැනිදා උන්වන්සේගේ වකුගඩුවල පවතින ගලක් ඉවත් කිරීම සඳහා පැයක පමණ කාලයක් සැත්කමක් සිදුකළේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදීයි.
මේ වනවිට උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බැවින් විශේෂ ප්‍රතිකාරයක් සිදුකිරීමට නොමැතිවීම හේතුවෙන් උන්වහන්සේව මෙලෙස රෝහලෙන් පිටත් කර යැවූ බවයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත්, යළිත් ඉදිරි සතියේදී උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලීමට රෝහලට රැගෙන එන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
අද දහවල් උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් රැගෙන යාම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ගිලන් රථයක් පැමිණ තිබූ අතර, එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එහි සිටි රෝහල් ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වුණා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර ගිලන් රථයට නංවා ගැනීමට පෙර අදහස් පළ කළා. එහිදී උන්වහන්සේ කියා සිටියේ අපගේ කැපවීම රට වෙනුවෙන් වන බවයි.
ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන එන අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද එහි සිටි පොලිස් නිලධාරීන් බාධා සිදුකළා.
මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදුන් සිර දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කිරීමට අවසර ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය හෙට අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.