Gossips

ඥානසාර හිමියන්ගේ සිර දඬුවමක් වසර 5 කට අත්හිටුවයි

සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර තිබූ මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද නියෝග කළා.
හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අදාළ නියෝගය ලබා දුන්නේ සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
සිද්ධියට අදාළව පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඬුවමක් නියම වූ අතර පසුව ඇප මත නිදහස් කෙරුණා.
උන්වහන්සේ පසුගිය වසරේ ජුනි 19 වැනිදායි මෙම අභියාචනය ගොනුකළේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගත් සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් 2016 වසරේ ජනවාරි 25 වනදා සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදී බැණ තර්ජනය කළ බවටයි, ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබුණේ.
කෙසේ වෙතත්, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වනවිට බරපතල වැඩ සහිත වසර 06ක සිර දඬුවම් විදිනවා.
නඩු විභාගය සදහා උන්වහන්සේ බන්ධනාගාර රෝහලේ සිට හෝමාගම මහාධිකරණයට පැමිණියේ බන්ධනාගාරයට අයත් සාමාන්‍ය බස් රථයකින්.
උන්වහන්සේගේ මව ද අධිකරණයට පැමිණ සිටි බව එහි සිටි අප වාර්තාකරු ප්‍රකාශ කළා.