Gossips

ඥානසාර හිමියන්ගේ සැත්කම අවසන් – කෝට්ටේ සංඝ සභාව, ජනපතිට ලියයි

සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ වකුගඩුවේ තිබූ ගලක් ඉවත් කිරීම සඳහා අද පැයක පමණ ශල්‍යකර්මයක් සිදුකෙරුණා.
ඒ, උන්වහන්සේ ප්‍රතිකාර ගනිමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදියි. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ උන්වහන්සේ ශල්‍යකර්මයෙන් අනතුරුව මේ වන විට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවයි.
කෙසේ වෙතත්, රෝහල් කාර්ය මණ්ඩලයට අමතරව උන්වහන්සේගේ සුව දුක් බැලීමට පිටස්තර පාර්ශවයන්ට අවසර හිමි වන්නේ පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරය මත බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.
මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නියෝජනය කරන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
කෝට්ටේ පාර්ශවයේ මහනායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් එම ලිපිය මගින් සදහන් කර ඇත්තේ හෝමාගම අධිකරණයේදී සිදුකළා යැයි කියන වරද උන්වහන්සේගේ පෞද්ගලික අරමුණක් මුදුන් පත් කර ගැනීමට සිදුකරන ලද්දක් නොවන බවයි.
එමෙන්ම අතීතයේ සිටම ශ්‍රී ලාංකික භික්ෂුව, පෞද්ගලිකත්වයට වඩා රට වෙනුවෙන් හා පොදු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් තම අදහස් නිර්භයව සහ අවංකව ප්‍රකාශ කරන බවත්, එහි දැක්වෙනවා.
මේ නිසා රට වෙනුවෙන් කතා කරන බෞද්ධ භික්ෂුවකට සිරබත් කෑමට සිදුවුවහොත් එය භික්ෂු සමාජයටම අභියෝගයක් බවයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව සඳහන් කළේ.