Gossips

ඥානසාර හිමියන්ගේ අභියාචනය අද පස්වරුවේ

සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (22) දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ අධිකරණයේ තීන්දුව බන්ධනාගාරය වෙත දැනුම්දීමෙන් අනතුරුව ඊට අදාළ පියවර ගැනීමට සූදානමින් සිටින බවයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ගොනුකළ අභියාචනය අද පස්වරුවේ දෙවැනි දිනයටත් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලීමට නියමිතයි.
පසුගිය 19 වනදා එම අභියාචනය ප්‍රථම වරට කැඳවූ අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් එදින අධිකරණයට නොපැමිණීම හේතුවෙන් අභියාචනය සලකා බැලීම අද පස්වරු 2 දක්වා කල් තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග නියෝග කළා.
මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව අලව්ව බෝධීන් වහන්සේ අභියස අද උදෑසන අධිෂ්ඨාන පූජාවක් ද පැවැත්වුණා.
අලව්ව දකුණ සහ නැගෙනහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයන්ට අයත් භික්ෂුන් වහන්සේලා 300 ක් පමණ එම අවස්ථාවට එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම, ඥාණසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් කිහිපදෙනෙකු කොටුව – බෝධිය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය මේ වනවිටත් ක්‍රියාත්මකයි.