Gossips

ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් නීතිපතිවරයා ඉල්ලා අස්කර ගනී

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස්කර ගනු ලැබුවා.
කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනයක් මෙලෙස ඉවත් කරගෙන තිබෙනවා.
2008 වසරේදී කොස්වත්ත – තලාහේන ප්‍රදේශයේදී කල්වාරි දේවස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු හිමිවරුන් 13 දෙනෙකු කොළඹ මහාධිකරණය නිදොස් කොට නිදහස් කළ අතර, එම තීන්දුවයි නීතිපතිවරයා විසින් අභියෝගයට ලක් කර තිබුණේ.
ඊට අදාළව විත්ති පාර්ශවය විසින් මූලික විරෝධතා ගොනුකර තිබූ අතර, එහිදී නීතිපතිවරයා විසින් තවදුරටත් අභියාචනය ඉදිරියට පවත්වාගෙන නොයන බව අධිකරණයට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි ඊට අවසර ලබා දී තිබෙනවා.