Gossips

ඥානසාර හිමිගේ ඇපෑල ගොනු කිරීම ප්‍රතික්ෂේප වෙයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදුන් බරපතල වැඩ සහිත සිරදඬුවම පිළිබද ඇපෑලක් ගොනු කිරීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ, අදාළ අභියාචනය සඳහා අවසර ලබාදෙන්නේ යන්න පිළිබදව එහි සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන ඇතුළු විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදියි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගිය දා අභියාචනාධිකරණය මගින් බරපතල වැඩ සහිතව වසර 6ක සිර දඬුවමක් නියම කෙරුණා.
සිර දඬුවම නියම වන විටත් උන්වහන්සේ සැත්කමක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබූ අතර සැත්කමින් පසු ඊයේ දිනයේ යළි බන්ධනාගාර රෝහල වෙත රැගෙන යනු ලැබුවා.
මේ අතර, අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ගොනු කිරීමට කටයුතු කරන බවයි.