Gossips

ඥානසාර හිමිගේ, අභියාචන ඇපෑල ඉවත දමයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදුන් සිරදඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කිරීමට මැදිහත්විය නොහැකි බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා.
ඒ, මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින්.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අභියාචනාධිකරණයට මෙම ඉල්ලීම සිදුකර තිබුණේ තමන්ට වසර 06 බරපතල වැඩසහිත සිරදඬුවමක් ලබාදුන් තීන්දුවේ ඇතුළත් නීති ගැටළු 03 ක් පෙන්වා දෙමින්.
සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණයටම අපහාස කළ එස්.බී.දිසානායකට වසර දෙකක සිරදඬුවමක් පමණක් ලබාදුන්නද, එක් මහේස්ත්‍රාත් අධිකරණයකට පමණක් අපහාස කළ වරදට ඥාණසාර හිමියන්ට වසර 06 ක සිරදඬුවමක් ලබාදී ඇති බව ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.
කෙසේ නමුත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය සඳහන් කළේ පොදු අරමුණක් වෙනුවෙන් වූවද, අධිකරණයේ කටයුතු සඳහා තෙවන පාර්ශවයකට මැදිහත්වීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති පී‍්‍රති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න, ඥානසාර හිමියන්ගේ දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කිරීමට අභියාචනාධිකරණයට මැදිහත් විය නොහැකි බව සඳහන් කළා.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ගොනු කිරීමට කටයුතු කරන බවයි.
සැත්කමකින් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සුවදුක් විමසීමට ස්වාමීන් වහන්සේලා පිරිසක් අද එහි වැඩම කළා.
මේ අතර, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ, 2016 වසරේ කොළඹදී පැවති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් අතරතුර රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධිය පිළිබඳ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදීයි.