Gossips

ඥාණසාර හිමියන්ට සිර දඬුවම් – එක්නැලිගොඩ බිරිඳට වන්දියක් ගෙවන්නත් නියෝග

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයකින් ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත වසරක සිර දඩුවම් අද (14) නියම කළා.
ඒ, හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග විසින්. ඊට අමතරව ඥාණසාර හිමියන්ට රුපියල් තුන්දහසක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදාල චෝදනාවට වරදකරු බව පසුගිය මැයි මස 24 වනදා තීරණය කළ හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග එම හිමියන්ට දඩුවම් නියම කිරීම අද (14) දක්වා කල් තබනු ලැබුවා.