Gossips

ඥාණසාර හිමිගේ චීවරය ඉවත් කිරීම ගැන කෝට්ටේ සංඝ සභාවේ අප්‍රසාදය

තම සංඝ සභාවේ අවසරයකින් තොරව ඊට අයත් භික්ෂුවක් වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබදව අප්‍රසාදය පළ කරන බව සඳහන් කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරලට ලිපියක් යොමුකර තිබෙනවා.
එම සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන්ගේ අත්සනින් යුතුව යොමුකර ඇති එහි දැක්වෙන්නේ ඥානසාර හිමියන්ට අධිකරණය විසින් දඩුවමක් ලබා දුන්න ද උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදී නොමැති බවයි.
අකමැත්තෙන් චීවරය ඉවත් කොට උන්වහන්සේ යම් කාලයක් සිරගතකොට තැබීමෙන් භික්ෂූත්වය රැක ගැනීම පිළිබදව විනයානුකූල ගැටලූ මතුවිය හැකි බවයි අදාළ ලිපියෙන් පෙන්වා දෙන්නේ.
එබැවින් වසර 2500 ක ඉතිහාසය තුළ ස්ථාපිත බෞද්ධ භික්ෂු සංවිධානයේ පාරම්පරික උරුමයට හා සංස්කෘතියට හානි නොකරන ලෙස දන්වා ඇති අතර, වහාම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙතින් ඉවත් කරන ලද චීවරය උන්වහන්සේ වෙත ලබාදෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව වෙනුවෙන් දැනුම් දෙන බව ද එහි වැඩිදුරටත් සදහන්.
ශ්‍රී ලංකාවේ දැනට ස්ථාපිත නීතියට අනුව බෞද්ධ භික්ෂුවක් එම තත්ත්වයෙන් පහකොට චීවරය ඉවත් කිරීමේ බලය ඇත්තේ උන්වහන්සේ අයත් සංඝ සභාවට බවයි අධිකරණ ඇමතිනියට යොමුකර ඇති ලිපියෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ.
මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් දැනුම්වත් කරන බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප්‍රකාශ කළා.