Gossips

ජෝන් ඩොයිලි ක්‍රමයට රට පාවාදෙන දේශපාලනඥයන්ට පාඩම් කියා දියයුතු බව ජනපති කියයි

අතීතයේ මෙන්ම වර්තමානයේද රට පාවා දෙන පිරිස් සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින්.
ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200 ක් පිරීම නිමිත්තෙන් වන සැමරුම් උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ
ප්‍රධානත්වයෙන්.
ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ විදේශීය චින්තනයන්ට සහ න්‍යාය පත්‍රවලට අනුව වැඩකරමින්, ජෝන් ඩොයිලි ක්‍රමයට නැවතත් රට පාවාදීමට උත්සහ කරන ඇතැම් දේශපාලනඥයන්ට පාඩම් කියා දීම ඌව වෙල්ලස්ස නිදහස් සටනට අවුරුදු 200 ක් සපිරෙන අවස්ථාවේ රටේ ජනතාව සතු වගකීමක් බවයි.
ජෝන් ඩොයිලිලාට කටවුට්, පෝස්ටර් ගහන සමාජයක් තවමත් මේ රටේ පවතින අතර දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා අතර වෙනස මතු පරපුරට සහ ජනතාවට කියාදීමට රටේ සියලූ විද්වතුන් ඒකරාශී විය යුතු බවයි මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ.
කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශය සහ ජනාධිපති කාර්යාලය එක්ව මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබූ අතර ඌව වෙල්ලස්ස නිදහස් සටනට අවුරුදු 200 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරුනා.
මේ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගී වූ තවත් උත්සවයක් අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීයි.